Saturday, September 20, 2014

Crouch End (ක්‍රවුච්-එන්ඩ්) කෙටි කථාවේ සිංහල පරිවර්ථනය (Part 1 of 2)


by Kasun Liyanage

ස්ටීවන් කිං ගේ "ක්‍රවුච් එන්ඩ්" හි සිංහල පරිවර්ථනය




කාන්තාව ආපසු යන විට පාන්දර 2.30 පමණ විය. ක්‍රවුච් එන්ඩ් පොලිස් ස්ථානයෙන් පිටත තිබූ ටොටෙන්හෙම් මාර්ගය, කුඩා සිදී ගිය ගංගාවත් බදු විය. ලන්ඩන් නගරය නින්දට ගොසිනි... එහෙත් එය ගැඹුරැ නින්දකින් නොනිදයි. එමෙන්ම එහි සිහිනයන් සුභ සිහිනයන් නොවේ. 

වෙටර් නැමති පොලිස් පී.සී වරයා ඔහුගේ සටහන් පොත වසා දැමුවේය. එය ඇමරිකානු කාන්තාව කියූ විකාර කථාන්තරයේ සටහන් වලින් මුලුමනින්ම මෙන් පිරී ගොසිනි. ඔහු ටයිප්රයිටරය දෙසද, ඊට එහා පසින් වූ රාක්කය මත තිබූ හිස් ෆෝරමයන් ගොන්න දෙසද බැලුවේය. "මේ වර්ථාව හෙට උදේ කියවන කෙනාට වම දකුණ මාරැ වෙයි", ඔහු කීවේය.

පීසී ෆැරන්හැම් කෝක් කෑන් එකක් බොමින් සිටියේය. ඔහු බොහො වෙලාවක් තිස්සේ සිටියේ නිහඩවය. "ඈ ඇමරිකන් නෙවද?" ඔහු අවසානයේදී කීවේය. ඔහු එය කීවේ ඇගේ කථාන්තරය එම ප්‍රශ්ණයෙන් විසිදීමට හැකි සේය. 

"මේ කථාව බැක්-ෆයිල් එකට යාවී," කී වෙටර්, අවට සිගරැට්ටුවක් තිබේ දැයි සොයන්නට විය. "ඒත් මට හිතෙනවා..."

ෆර්න්හැම් සිනාසුනේය. "ඔබේ ඒ කථාවේ එක කෑල්ලක් වත් විස්වාස කරනවද?"

"මම එහෙම කීවද?. ඒත් ෆර්න්හැම්, ඔබ මේ ප්‍රදේශයට ආගන්තුකයෙක්."

ෆර්න්හැම් අවුරැදු 21ක තරැණයෙක් විය. ඔහු මෂ්විල් සිට මෙතැනට මාරැ කර තිබිනි. වෙටර් ඔහු මෙන් දෙගුනයක් වයස මිනිසෙකු වූ අතර, ඔහු තම මුළු කාලයම ලන්ඩන් හි මෙම ක්‍රවුච්-එන්ඩ් පොලීස් ස්ථානයේ ගතකොට තිබිනි. 

වෙටර් ගිනි කූරක් දල්වා, එය නිවා, එය ෆර්න්හැම් ගේ අළු බදුනට දැමුවේය. ඔහු පාවෙන දුම අතරින් එපිට පෙනෙන භූමිය ප්‍රදේශය දෙස බැලුවේය. "එතකොට ඔබ හිතන්නේ ක්‍රවුච් එන්ඩ් කියන්නේ නිශ්ශබ්ධ ප්‍රදේශක් කියලා නෙවද?"

ෆර්න්හැම් තම දෙඋර හැකිලුවේය. ඇත්තෙන්ම ඔහු සිතුවේ මෙම ප්‍රදේශය කම්මැලි, ඈනුම් යන පලාතක් කියාය. 

"මට පේනවා, ඔබ එහෙම හිතන බව," වෙටර් කීවේය. "ඔබ හරි, මුළු පලාතම දහය එකොලහ වෙනකොට නිදි. ඒත් මම දැක තිබෙනවා සෑහෙන අසාමාන්‍ය දේවල් මේ ක්‍රවුච් එන්ඩ් වල. ඔබ මම මෙහේ හිටිය කාලය වගේ බාගයක් මෙහෙ හිටියා නම්, ඔබත් ඒවා දකීවි. මෙම ඒවට බයයි. ඉතිං මම බීර බොතලයක් තියාගන්නවා. එතකොට මම එච්චර බය නෑ. ඔබ හිතන්නේ ඇයි, අවුරැදු 40ක මිනිහෙක් වෙන සාජන්ට් ගෝර්ඩන් ගේ ඉහකෙහෙ මුළුමනින්ම සුදු වෙලා තියෙන්නේ කියලා? ඊලගට, 1976යේ ගිම්හානයේදී පෙටී සිය දිවි නසාගත්තා. ඒ උශ්ණ ගිම්හාන කාලය කොහෙත්ම සුබ එකක් වුනේ නෑ. අපි හොග දෙනෙක් හිතුවේ උන් කඩාගෙන ඇතුලට එයි කියලා."

"මොකුන්ද? කඩාගෙන ඇතුලට එන්නේ කොහෙන්ද?" ෆර්න්හැම් ඇසුවේය. වෙටර් කියවන්නට පටන් ගත්තේ ඇමෙරිකානු කාන්තාව කියවූ ශෛල්‍යයට සමාන ස්වරයකිනි. ඔහු සාමාන්‍යයෙන් අසාමාන්‍ය පුද්ගලයෙකු විය. ෆර්න්හැම් ගේ කට කොනෙහි සිනාව දුටු වෙටර්, කෙලින්ම ඔහු දෙස බලා සිනාසුනේය, "ඔබ නොවරදවාම හිතනවා ඇති, මම පිස්සු නාකියෙක් කියලා. ඒත් ඔබ බැක්-ෆයිල් එක කියවා බලන්න වටිනවා. ඒකේ වාර්ථා කරලා තියන බොහොමයක් කේස්, එක්කෝ කෙල්ලො කොල්ලො පැනලා ගිය ඒවා, නැත්තම් පිට් පොකට් ගහපු ඒවා. ඒත් ඒ අස්සේ, වාර්ථා තියනවා, කියවනකොට ඔබේ ලේ කැටි ගැහෙන ඒවා. සමහරක් ඒවා අර ඇමරිකානු කෙල්ල කියපු ජාතියේ. මම කීවා කියලා හිතාගන්න, ඈට ඇගේ ස්වාමිපුරැෂයාව හොයාගන්න ලැබෙන්නේ නෑ."

"සමහර වලාවට මම කල්පනා කරනවා, වෙනත් ලෝක, මාන, ගැන" වෙටර් කීවේය.

"මාන?" ෆර්න්හැම් ඇසුවේය.

"විද්‍යා ප්‍රබන්ධ කියවනවද, ෆර්න්හැම්?"

"නෑ" ෆර්න්හැම් කීවේය.

"විද්‍යාප්‍රබන්ධ කාරයෝ හොගක් වෙලාවට වෙනත් මාන ගැන කියනවා." වෙටර් කීවේය. "ලව්ක්‍රාෆ්ට්? ඔහුගේ පොතක් කවදාහරි කියවලා තියනවද?"

"නම අහලත් නෑ."

"ලව්ක්‍රාෆ්ට් ලියන්නේම මාන ගැන. අපේ ලෝකෙට ආසන්න මාන ගැන. මිනිහෙක් එක බැල්මකින්ම පිස්සු වට්ටන, නොමැරෙන යක්ෂයෝ ඉන්න මාන ගැන. රාත්‍රී කාලවලදී -- අද වගේ -- මම හිතනවා, හැම දෙයක්ම සාමාන්‍යයි, හොද සිහියෙන් යුක්තයි, සුන්දරයි කියලා අපි හිතන මේ ලෝකේ ගැන. මම හිතනවා මේ ලෝකේ හරියට හුළං පුරෝපු මහා රබර් බෝලයක් වගේ කියලා. මේ බෝලයේ සමහර තැන් ගෙවිලා ගිහින්, එතන තියෙන්නේ තුනී පටලයක් විතරයි. ඊළගට මම හිතනවා, ක්‍රවුච් එන්ඩ් කියන්නේ, එහෙම තුනී වෙලා ගිය පටලයක් තියන තැනක් කියලා."

වෙටර් තවත් ගිනිකූරක් ගසා, දැල්ල උඩින් ෆාර්න්හැම් දෙස බැලුවේය. "අවුරැදු 26යේ ලස්සන ගෑනියෙක්, මිල්වෝකි වල වල වැඩ කරන සාර්ථක නීතීඥයෙකුගේ බිරිදක්, ඇගේ ලමයි දෙන්නා හෝටලේ. මේ වගේ කාන්තාවකට මෙහාට ඇවිදින්, චිත්‍රපටි වල විතරක් පෙන්නන විදියේ විකාර කතාවක් කියන්න තියෙන උවමනාව මොකක්ද?"

ෆර්න්හැම් කිසිවක් නොකීවේය.

කර-කර ගා ශබ්ධයක් නැගිනි. ඒ වෙටර් තම අත් දෙක පිටුපසට බැද, කොන්දෙහි හිරි කඩන ශබ්ධයයි. "මම යනවා හුළං ටිකක් වදින්න."
.....

ෆර්න්හැම්, වෙටර් ගේ සටහන් පොත ගෙන කාන්තාවගේ කථාන්තරය නැවතත් කියවන්නට විය. පසුගිය සන්ධ්‍යාවේදී ඈ පොලිස්ථානයට ආවේ 10.30 ට පමනය. ඇගේ කොන්ඩ කැරලි තෙමී එල්ලෙමින් තිබූ අතර, ඇගේ ඇස් ඉදිමී තිබිනි. ඈ තම පර්සය එහි පටියෙන් බිම දිගේ ඇදගන ආවාය.

"ලොනී," ඈ කීවාය. "ඔබලා මට ලොනීව හොයලා දෙන්න ඕන."

"අපි පුළුවන් උපරිම උත්සාහය ගන්නම්, නෙවෙද?" වෙටර් කීවේය. "ඒත් ලොනී කියන්නේ කවුද?"

"ඔහු මැරිලා," තරැණ කාන්තාව කීවාය. "මම දන්නවා ඔහු මැරිලා බව" ඈ හැඩීමට පටන් ගත්තාය. ඉන්පසු ඈ සිනාසීමට පටන් ගති. එය සිනාවකට වඩා කෙකරගෑමක් විය. ඈ තම පර්සය තමා ඉදිරියේ බිම දැම්මාය. ඈ පිස්සු වැටීමට ආසන්න බවක් පෙනිනි.

රාත්‍රී කාලයේදී පොලිස්ථානය ජනශූණ්‍යව තිබිනි. එහි සිටියේ එක් පකිස්ථානී කාන්තාවක් පමනය. සාජන්ට් රේමන්ඩ් ඇගේ කථාවට පුදුමාකාර සාවධානයකින් යුතුව සවන්දෙමින් සිටි බවක් පෙනී ගියේය. ඈ කියමින් සිටියේ, ඇගේ පර්සය, හිල්ෆීල්ඩ් මාර්ගයේදී හිදී, පාපන්දු-ටෑටූ සහ ජේත්තුකාර නිල් කොන්ඩයකින් යුතු කිසියම් මිනිසෙකු විසින් පැහැර ගෙන ගිය අන්දමය. 

වෙටර්, රේමන්ඩ්ට සහ ෆරන්හැම්ට අත වැනුවේය. ඔවුහු දැනටමත් ඇමරිකානු කාන්තාවගේ හිස්ටීරියාවට ආසන්න කටහඩ ඇසී, ඒ දෙස තම බෙලි හරවාගෙන සිටියෝය. 

"ලොනී!" ඈ කෑගෑවාය. "උන් ලොනීව පැහැරගත්තා!"

පකිස්ථානී කාන්තාව ඇමරිකානු ගැහැනියව මොහොතක් සන්සුන්ව අධ්‍යනය කොට, රේමන්ඩ් දෙසට හැරී තම පර්සය සොරා ගැනීම ගැන කථාව නැවතත් පටන් ගත්තාය.

"මිස් -- " පීසී ෆර්න්හැම් කීවේය. 

"මොනාද මෙහේ සිද්ද වෙන්නේ?" ඈ පහත් හඩින් කී අතර, හති දැම්මාය. ඇගේ වම් කම්මුල මත කුඩා සීරීමක් ඇති බව ෆර්න්හැම් දුටුවේය. එය පහුරැගෑමක් බදු විය. ඈ හුරැබුහුටි පියයුරැ වලින් යුතු, කුඩා සහ රෑමත් කාන්තාවක් වූවාය. ඇගේ කෙස් කළඹ රතු-දුඹුරැ පැහැයෙන් යුතු විය. ඇගේ ඇදුම් පැළදුම් සාමාන්‍ය වශයෙන් මිලාධික ඒවා වූ අතර ඇගේ එක් සපත්තුවක අඩිය ගැලවී තිබිනි. 

"මොනාද මෙහේ සිද්ද වෙන්නෙ?" ඈ නැවතත් ඇසුවාය. "යක්ෂයෝ --"

"මේ මිස්ට කෝපි එකක් හදාගෙන, එ්ක තුන් වෙනි කාමරේට ගේන්න," වෙටර් කීවේය. "කෝපි බොනවා නේද, මිසී?" වෙටර් ඇගේ උරහිසට අත තබමින් ඇසුවේය.

"ලොනී," ඈ මිමිනුවාය. "මම දන්නවා ඔහු මැරිලා බව."

"මිස්, ඔයා එන්න මේ නාකී ටෙඩ් වෙටර් එක්ක. අපි මේ ප්‍රශ්නෙ සුටුස් ගාලා විසදමු", කියූ ඔහු, ඈට තම දෙපයින් නැගීමට අධාර කලේය. වෙටර් තම එක් අතක් ඇගේ බද වටා දමා ඈව කැදවාගෙන යන විට, තමවමත් ඈ මුමුණමින් කෙදිරි ගෑවාය.  ඈ තම කැඩුනු සපත්තුව නිසා ගමන් කලේ කොර ගසමිනි.

ෆර්න්හැම් කෝපි කෝප්පය තුන් වෙනි කාමරයට ගෙනාවේය. කාමරය සුදු පැහැති කුඩා එකක් වූ අතර, එහි වූයේ පරණ මේසයක්, පුටු හතරක්, සහ වතුර ශීත කරන උපකරනයක් පමනි. ඔහු කෝපි කෝප්පය ඈ ඉදිරියේ තැබුවේය.

"මෙන්න, මිසී," ඔහු කීය.

ඈ එම පෝසිලේන් කෝපි කෝප්පය අතට ගත්තේ, එයින් තම දෑත් රත් කරගැනීමට මෙනි. ඇගේ දෑත් දැඩි ලෙස වෙව්ලුවේය. අනතුරැව ඈ එය කුඩා දරැවෙකු මෙන් අත් දෙකෙන්ම ඔසවා බීවාය. ඉන්පසු ඈ ඔවුන් දෙස බලන විට, එය කුඩා දරැවෙකුගේ බැල්මක් විය -- අහිංසක, තෙහෙට්ටුවට පත්, දුර ඈත බැල්මකින් යුතු කුඩා දරැවෙකුගේ. සිදුවුනු කිසියම් දෙයක් හේතුවෙන් නැගුනු භීතියකින් ඈ අවුරැදු 20කින් තරැණ වූවාක් සේ පෙනී ගියේ ය. 

"ලොනී," ඈ කීවාය. "සමහරක් විට ඔහු මිය නොගියා වෙන්න පුළුවන්. සමහර විට--" ඈ ඉකි ගසන්නට වූවාය.

වෙටර් ඇගේ උරහිසට තට්ටු කලේය. "අපට ඔබේ ලොනී හොයාගන්න පුළුවන් වේවි. ලොනී ඔබේ ස්වාමිපුර්ෂයාද?"

තවමත් ඉකි ගසමින්, ඈ 'ඔවු' කීමට හිස වැනුවාය. "ඩැනී යි නෝර්මායි හොටලේ, ආයම්මත් එක්ක.... ඔවුන් නිදි.... ඔවුන් ඇහැරැනාම තාත්තා එනකම් බලා ඉදීවි." 

"මිසී, දැන් සන්සුන් වෙන්න බලන්න. ඊට පස්සේ සිද්ද වුනේ මොකක් දැයි අපට කියන්න."

"ඒක ම තමයි ප්‍රශ්නේ! මම දන්නෑ ඒක කොහේදීද සිද්ද වුනේ කියලා. මම දන්නෑ උන‍ේ මොකක්දවත් කියලා. මොකක් වුනත්, ඒක හ්-හහ්-භයානකයි"

වෙටර් ඔහුගේ සටහන් පොත ගත්තේය. "මිසී, මොකක්ද ඔබතුමීගේ නම?"

"ඩොරිස් ෆ්‍රීමන්. මගේ මහත්තයා ලියොනාර්ඩ් ෆ්‍රීමන්. අපි නැවතිලා ඉන්නේ ඉන්ටර්-කොන්ටිනල් හෝටලේ. අපි ඇමරිකානු ජාතිකයෝ." ඈ කෝපි උගුරක් බී ජග්ගුව මේසය මත තැබුවාය. ඇගේ අත්ල ජෝග්ගුවේ රස්නයට රතු පැහැ ගැන්වී ඇති බව ෆර්න්හැම් දුටුවේය. 'පස්සේ තමා ඕක දන්ඩ පටන්ගන්නේ, ඩාලිං' ඔහු සිතුවේය.

වෙටර් ඈ කියනා දේ තම සටහන් පොතේ ලියමින් සිටියේය.

"ඔබලා නිවාඩුවකටද ආවේ?" ඔහු ඇසුවේය.

"ඔව්... සති දෙකක් මෙහේ, ඊළගට සතියක් ස්පාඥයේ. අපි ප්ලෑන් කලේ බාසිලෝනා වල සතියක් ගත කරන්නයි.... ඒත් මේ අනං මනං ප්‍රස්න ලෝරි හොයාගන්න ප්‍රයෝජනයක් වෙන්නේ කොහොමද! මොකද ඔබලා මගෙන් මේ තේරැමක් නැති ප්‍රශ්ණ අහන්නේ?"

"පසුබිම් තොරතුරැ ටිකක් ගන්නයි බැලුවේ, ෆ්‍රීමන් මහත්මිය," ෆර්න්හැම් කීවේය. සිතා මතා නොවුනත් මිනිසුන් දෙදෙනාම, පහත්, නැලවිලි ස්වරයකින් ඈට කතා කරන්නට පටන්ගෙන තිබිනි. "දැන් සිද්ද උනේ මොකක්ද කියලා ඔබේ වචනෙන්ම කියන්න"

"මොකද ලන්ඩන් වල ටැක්සික් ගන්න මෙච්චර අමාරැ?" ඈ හදිසියේම ඇසුවාය.

කිව යුත්තේ කුමක්දැයි ෆර්න්හැම් නොදත්තේය. එහෙත් වෙටර් එයට පිලිතුරැ දුන්නේ එය මාතෘකාවට අදාල ප්‍රශ්ණයක් සේය.

"හරියටම කියන්න අමාරැයි. සමහර විටක සංචාරකයො නිසා වෙන්න පුළුවන්. ඇයි? ක්‍රවුච් එන්ඩ් වලට එන්න ටැක්සියක් හොයාගන්න අමාරැ වුනාද?"

"ඔව්," ඈ කීවාය. "අපි හෝටලෙන් තුනට ඇවිත්, හැචාර්ඩ් පොත් කඩේට ආවා.

"හොද ලොකු පොත් කඩයක් නෙවෙද, මිසී" වෙටර් කීවේය.

"ඉන්ටර් කොන්ටිනල් වල ඉදලා කැබ් එකක් ගන්න එච්චර අමාරැ උනේ නෑ.... ටැක්සි ඒ ඉස්සරහ පෝලිමට නවත්තලා තිබුනා.  ඒත් හැචාර්ඩ් පොත් කඩෙන් එලියට ආපුවාම මොන ටැක්සියක් වත් පේන්න තිබුනේ නෑ. අන්තිමේදී එකක් ඇවිත් නැවැත්තුවා. ලෝනී ඩ්‍රයිවර්ට කීවාම, අපට ක්‍රවුච් එන්ඩ් වලට යන්න ඕන කියලා, ඩ්‍රයිවර් හිනාවෙලා ඔළුව වැනුවා විතරයි. අපි ඔහුට පවුමක ටිප් එකක් දෙන්න හැදුවත් ඔහු කැමති වුනේ නෑ. ක්‍රවුච් එන්ඩ් වලට අපිව ගෙනියන්න කැමති වුනු ඩ්‍රයිවර් කෙ‍නෙක් අල්ලා ගන්න අපට පැය බාගයක් විතර ගියා. එතකොට වෙලාව පහමාරට විතර ඇති. මේ වෙලාවේ තමයි ලොනීට ඒත්තු ගියේ, යාළුවාගේ ඇඩ්‍රස් එක නැති වෙලා බව."

ඈ ජෝග්ගුව නැවතත් දැඩිව අල්ලා ගත්තාය.

"කාවද ඔබලා හම්බුවෙන්න යනවා කීවේ?" වෙටර් ඇසුවේය.

"මහත්තයා දන්න කෙනෙක්. ජෝන් ස්ක්‍යුවේල්ස් කියලා නීතීඥ‍යෙක්. ඒත් ලොනීට ඔහුව කලින් මුනගැහිලා තිබුනේ නෑ. ඒත් ඔවුන් වැඩකරන සමාගම --- " ඈ තම අතින් අපැහැදිලි සංඥාවක් කලාය.

"අනුබද්ධිතයි?"

"ඔවු මන් හිතන්නේ. මිස්ටර් ස්ක්‍යුවේල්ස් දැනගත්තාම අපි ලන්ඩනයට එන වග, ඔහු අපට ආරාධනා කලා රෑ කෑමකට. ලොනී ඔහුගේ ඔෆිස් එකට නිතර ලියුම් යැවුවත්, මිස්ටර් ස්ක්‍යුවේල්ස් ගේ ඇඩ්‍රස් එක තිබුනේ කොල කෑල්ලක ලියාගෙන. කැබ් එකට නැග්ගාමයි ඔහු දන්නේ කොලේ නැති වෙලා කියලා. ඔහුට මතක තිබුනේ ගේ තියෙන්නේ ක්‍රවුච් එන්ඩ් වල කියලා විතරයි."

ඈ ඔවුන් දෙය බියජනක බැල්මක් හෙළුෑවාය.

"ක්‍රවුච් එන්ඩ් -- මට හිතෙන්නේ එ්ක මහ අමුතු නමක් කියලා"

"ඉතිං ඔබලා මොකද කලේ?" වෙටර් ඇසුවේය.

ඈ තම කථාන්තරය නැවතත් කියන්නට පටන්ගත්තාය. ඈ එය අහවර කරන විට, ඈ කෝපි කෝප්ප දෙකක් පමන බී අවසානය. පීසී වෙටර් තම සටහන් පොතෙහි පිටු කීපයක්, හදිසි අත් අකුරැ වලින් පුරවා තිබිනි.

-----

ලොනී ‍ෆ්‍රීමන් විශාල මිනිසෙකු වූයේය. ඔහු ඉදිරියට නැවී, ඩ්‍රයිවර් සමග කථා කරන්නට විය. ඩ්‍රයිවර් සාවධානයෙන්, නැතිවුනු ඇඩ්‍රස් එක පිළිබද කථාව අසා සිටින්නට විය. පිටත, හේමාකට් ටවුම පසු කරමින් රථ වාහන නොනවත්වා ඇදුනි.

"මම එකක් කියන්නං." ඩ්‍රයිවර් කියපි. "මම ඔබලාව ක්‍රවුච් එන්ඩ් වලට ගෙනිහින් ටෙලිෆෝන් පෙට්ටියක් ලග නවත්තන්නම්. ඊට පස්සේ ඔබලාට පුළුවන් ඔබේ ගවනර් ගේ ඇඩ්‍රස් එක හොයා ගන්න. ඊට පස්සෙ අපිට පුළුවන් ඔහුගේ ගෙයි දොරකඩටම යන්න."

"නියමයි," ඩොරිස් සැබෑවටම ප්‍රීතියට පැමින කීවාය.

"ස්තූතියි" කී ලොනී, ආපසු ආසනයට හේත්තු විය. ඉන්පසු ඔහු ඩොරිස් වටා තම අත යවා මෙසේ කීය, "පේනව නෙහ්. නෝ ප්‍රොබ්ලම්."

"අපෝ ඔව් ඔයාට පින්සිද්ධ වෙන්න" ලොරී නැති කරගත් කොල කැබැල්ල පිලිබද නෝක්කාඩු කරමින් ඈ ලොරීගේ ඉනට ඇන්නාය.

එය අගෝස්තු මාසයේ අවසානය භාගය වූයේය. නොනවතින ග්‍රීෂ්ම සුළග මාර්ගය මත තිබූ කුණු කසල සහ ටින් ආදිය සොලවා දැමූ අතර, වැඩ නිමවී ගෙදර යන ගැහැනු මිනිසුන්ගේ ජැකට් සහ සායවල් සුළගේ පා වී ගියේය. හිරැ බැස යමින් තිබුනි. සූර්යයා බිල්ඩින් දෙකක් අතරින් පෙනී ගිය විට, එය සන්ධ්‍යාවේ රක්තවර්ණයෙන් රතු පැහැ ගැන්වීමට පටන් ගෙන ඇති බව ඩොරිස් දුටුවාය.

කැබ් රථය "හම්" හඩ නගමින් ගමනේ යෙදුනේය. ලොනීගේ අත තමා වටා යැවී තිබෙද්දී ඇගේ කලබලය දුරැවී ඈ නිස්කලංක විය. ලොනී ගේ අත තමාගේ පියයුරක යටි කොනෙහි ඇතිල්ලෙන සැටි ඈට දැනිනි. මේ අවසන් දින හය තුලදී,  මේ අවුරැද්ද පුරාම සිදු නොකල තරම් ඈ ලොනී සමග කම් සුව විදි බවක් ඈට සිතිනි. තමා එය ප්‍රිය කරන බව දැනීමෙන් ඈ සතුටට පත් වූවාය. ඈ මින් පෙර ඇමෙරිකාවෙන් පිට ගොස් නොතිබුනු අතර, තමා සිටින්නේ එංගලන්තයේ යැයි බොහෝ විට ඈට අමතකව ගියේය.  එමෙන්ම ඈ ඊළග සතියේදී බාසිලෝනාවට යාමට නියමිතය. මෙතරම් වාසනාවක් එකක් ලැබෙන්නේ දාහෙන් එක් අයෙකුට බව ඈ සිතුවාය.

මෙහිදී ගොඩනැගිලි පෝලිමක් පිටුපස හිරැ අතුරැදන්ව ගිය අතර, මෙයින් ඩෝරිට වම දකුණ මාරැ විය. ලන්ඩන් නගරයේ කැබ් රථයක ගමන් විට මෙය සිදුවන බව ඈ පසුව දැගත්තාය. නගරය එකිනෙක කැපී යන මාවත් ජාලයකින් යුතු වූ අතර, එහි කුඩා කදු ද, ගෙවල් පේලිද, මධ්‍යසාර සහ කෑම සැල්ද සෑම තැනම පැතිරී තිබිනි. මෙහි කිසිවෙකු පාර සොයාගන්නේ කෙසේ දැයි ඈට නොවැහිනි. 

ඔවුන් ගිය දුරැතිම ටැක්සි ගමන මෙය විය. නගරයේ ජේත්තුකාර කොටස ඔවුන් පසු කර තිබිනි. ඔවුන් රවුමට රවුමට කැරකෙන්නාක් මෙන්ය ඩොරිස්ට දැනුනේ. 

ටික වේලාවකින් ඔවුහු විවෘත ස්ථානයකට පැමිනියෝය. දැන් හිරැ, ක්ෂිතිජය මත තිබෙන තනි තැඹිලි පැහැති වස්තුවක් විය. එහි අස්වාභාවික අාලෝකයෙන් මාර්ගය නැහැවී තිබුනු අතර, ගමන් කරමින් සිටි මිනිසුන් එයින් ගිනිගෙන දැවෙන්නාක් මෙන් පෙනී ගියේය.
----
"මෙතනදි තමා දේවල් වෙනස් වෙන්න පටන් ගත්තේ," ඈ කීවාය. ඇගේ කඩහඩ පහත වැටුනු අතර, ඇගේ අත් නැවතත් වෙව්ලන්නට පටන් ගත්තේය.

වෙටර් කුතුහලයෙන් යුතුව ඉදිරියට නැවුනේය. "වෙනස් වුනා? කොහොමද? කොහොමද, මොනවද වෙනස් වුනේ, මිස් ෆ්‍රීමන්?"
---
ඔවුන් පුවත්පත් ඒජන්සියක ජනේලයක් පසු කර ගිය අතර, එහි පිටත, රට හුනු වලින් මෙසේ ලියූ පුවරැවක් එල්ලා තිබිනි: "භයානක භූගත අනතුරැකින් 60ක් අතුරැදන් වෙයි."

ඈ මේ ගැන ටික වේලාවක් කල්පනා කරමින් සිට, ඉදිරියට නැවුනාය. "ඩ්‍රයිවර්, සබ්වේ (උමං දුම්රිය) එකේ අනතුරක් වුනාද?"

"අනතුරක්? එහෙම එකක් නම් මන් දන්නෙ නෑ, මැඩම්."

"ලොනී?"

"හ්ම්"

ලොනීගේ අවධානය බිදී තිබිනි. නැතිවුනු කොලකැබැල්ල හෙවීමේ අවසන් උත්සාහයක යෙදෙමින් ඔහු සාක්කු අවුස්සමින් සිටියේය.

දැන්වීම් පුවරැවෙහි ලියා තිබූ වචන ඇගේ සිත තුල රවුම් ගසන්නට විය. "භයානක භූගත අනතුරකින් 60ක් අතුරැදන් වෙයි. මරණයට පත් වෙයි නොකියා 'අතුරැදන් වෙයි' කියලා ඒකේ ලියලා තිබුනේ මොකද. ඈට එයින් නොසන්සුන්තාවක් ඇතිවින." 'අතුරැදන් වෙයි' යන්න ලියා තිබුනේ හරියට, නාවික නැවක් ගිලීයාමෙන් එහි සේලරැවන් ගිලී යාම ගැන පැරණි වාර්ථා කරැවන් ලියුවාක් මෙනි.

රියදුරා දකුණතට හැරවූයේය. හැරවූ තැන පේමන්ට් එක මත, තමන්ගේ බයික් නවතා සිටගෙන සිටියේ, ලෙදර් ඇදුම් ලා ගත් තරැණයින් තිදෙනෙකි. 

"මේ තියෙන්නෙ," ලොනී මෙවිට කීවේ ජනේලය දෙස අත දිගු කරමිනි. 'ක්‍රවුච් හිල් රෝඩ්' නැමැති වචන සහිත පුවරැවක් ඔවුහු පසු කරමින් සිටියහ. නිදිබර පැරණි ගඩොලු නිවාස පේලි වලට ඔවුහු ලං වෙමින් සිටියහ. ඒවායේ හිස් ජනේල කැබ් රථය දෙස ඇස ගසාගෙන සිටින්නාක් මෙන් ය දිස් වූයේ. දරැවන් කීප දෙනෙකු බයිසිකල් හෝ ට්‍රයිසිකල් වලින් එහාට මෙහාට පැදගෙන ගියහ. තවත් ලමයින් දෙදෙනෙකු ස්කේට්-බෝඩයක් පදින්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටියෝය. වැඩ හැරී පැමිනි පියවරැන් කීපදෙනෙකු එකට හිදගෙන, කථා කරමින් සහ සිගරැට්ටු බොමින් ලමුන් දෙස බලා සිටියහ. සියල්ලම ඉතා සමාන්‍ය බවක් ඉසුලුවේය.

ටැක්සිය, අදුරැ හැගීමක් ගෙන දුන් පැරණි අවන්හලක් ලග නතර කෙරැනි. එහි ජනේලයකින් පෙනුනු රාක්කයක් මත, අළු පැහැති තඩි බළලෙක් නිදමින් සිටියේය. අවන්හල ආසන්නයේ දුරකථන ඇමතුම් පෙට්ටියක් තිබිනි.

"ඔන්න තියනවා ටෙලිෆෝන් පෙට්ටියක්," රියදුරා කීවේය. "යාළුවාගේ ඇඩ්‍රස් එක හොයාගන්න. ඊට පස්සේ මම ඔහුගේ ගේ හොයාගන්නම්."

ලොනී කැබ් රියෙන් ඉවතට ආ අතර, ඩොරිස් ද මද වේලාවකින් එලියට බැස තම අත පයෙහි හිරි කැඩුවාය. උණුසුම් සුළග තවමත් හමමින් පැවති අතර, එමගින් ඇගේ සාය ඉදිරිපසට පැද්දී ගොස්, ඇගේ හැඩැති කකුල් සහ තට්ටම් සායට ඇලී ගියේය. පැරණි අයිස්ක්‍රීම් දවටනයක් සුළගට ගසාගෙන ඇගේ දණිසට පහලින් ඇළුණු අතර, ඈ පිළිකුලින් විරිත්තා ගෙන එය අයින් කර දැම්මාය. 

ඈ කෙලින්ම ඝනැති වීදුරැ වලින් සැදූ ජනේලය පිටපස උන් බළලා දෙස බලමින්ය සිටියේ. ඌ හැරී ඈ දෙස බැලුවාය. උට තිබුනේ එක ඇසකි. උගේ මුහුනින් බාගයක්ම, පැරණි සුරා හපා ගැනීමක් හේතුවෙන් ඉරී ගොස් තිබුනේය. මුහුනෙහි ඒ පැත්තෙහි ඉතිරිව තිබුනේ රෝස පැහැති ඇඹරී ගිය හමක් ද, අන්ධව සුදු පැහැති වී ගිය ඇහි බෝලයක් සහ අතනින් මෙතනින් පැන නැගුනු මයිල් පදුරැ කීපයක් පමනි.

ඌ ඈ වෙත ජනේලය තුලින් නිශ්ශබ්ධව "මියෑව්" ගෑවේය.

----------
දෙවන අර්ධය නොබෝ දිනකින් බලාපොරොත්තු වන්න.....








Thursday, September 11, 2014

මාරක දිනය (සය වැනි කොටස)

ඉන්පසු පැමිනියේ, තමා සැබවින්ම කවරෙකුද යන අවබෝධයයි. මේ දක්වා ජීවත් වූ සියළු සත්වයන්ගේ රැධිරය තම අත්වල ඇත්තාවූත්, ගිනිය නොහැකි කෝටි ප්‍රකෝටි ගණනක් සත්වයන්ගේ අවසාන මොහොත අද්දුටුවාවූත්, ඔවුන්ගේ අවසාන මිනිත්තු කීපයේදී ඔවුන් අත්විදි දුක සහ සතුට, කායික වේදනාව සහ කායික සහනය අත්වින්දාවූත් එකම ප්‍රාණය -- තැන, ප්‍රාණය නොව. තමාව හැදින්විය හැකි වචනය කුමක්දැයි ඔහු නොදත්තේය -- තමා බව ඔහුට සිහි විය. තමා මරණය බව ඔහුට සිහිවිය. "ඔහු" යන වචනය මෙම "ජීවියාට" පාවිච්චි කිරීමට සැබවින්ම නොහැකිය. මරණයට ලිංග භේදයක් නොමැත. මෙහෙයින් මරණය හැදින්වීමට "එය" යන වචනය දැනට පාවිච්චි කරමු. "එය", හදිසි අනතුරැ වලදී ක්ෂණිකව මිය ගිය පුද්ගලයින්ගේද, පිළිකා වැනි මාරක රෝග වලින් ටිකෙන් ටික අවසානය කරා ලංවූ පුද්ගලයන්ගේ අවසාන මිතුරා විය. මරණයේදී සමහරැන් භීතියෙන් මොරගානුද, සමහරැන් එය තමා පෙලෙන පීඩා වලින් ගැලවෙන එකම මග යැයි සිතා සිනා පහල කරනුද එය දැක තිබුනේය. එමෙන්ම, සැබවින්ම, අවසාන මොහොතට මුහුන දීමට සිත සාදා ගැනීමට නොහැකි වූ සමහර ගැහැණු මිනිසුන්ටද වෙනත් විවිධාකාර ජීවීන්ටද උපකාර කිරීමටද එය උත්සාහ කොට තිබුනි. එම උත්සාහයන් සමහරක් සාර්ථක වී තිබුනු අතර, සමහරැන්ගේ සිත් භෞතික පැවැත්මට නොගැලවිය හැකි ලෙස ඇලී තිබීම හේතූවෙන්, සමහරක් උත්සාහයන් ව්‍යවර්ථව ගොස් තිබුනේය.

"එය", තමා ඉදිරියේ ඇති ඇසට නොපෙනෙන, මනසට පමනක් පෙනෙන කොලය උඩින් පල්ලෙන් කියවන්නට වූයේය. එහි මුල් කොටසේ ලියවී තිබුනේ කොෆී ගේ පාසැල් කාලයේදී ඔහු සහ නතාශා නැමති තරැණියක් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධයක් ගැනය. ඇය දැඩි ආත්ම විශ්වාසයකින් යුතු, සමාජශීලී, එමෙන්ම ක්ෂූක්ෂම මොළයකින් තරැණියක් වූ අතර, තමාට කිසිවක් අවශ්‍ය වූයේ නම් ඈ එය හොදින් හෝ නරකින් ලබා ගත්තාය. ඈ සහ කොෆී සම කලොත්, එය කොටි ධෙිනුවක් ගොළුබෙල්ලෙකුට සම කලාක් වැනි විය. ජෝන් කොෆී යනු නතාශා විසින් තම උවමනාවන් ඉටු කර ගැනීමට පාවිච්චි කල ඉත්තෙක් විය. ඔහු, නූලකින් ඇගේ සුලැගිල්ලේ බැදී බල්ලෙකු විය. ඇගේ කාමුකත්වය, කෝෆී ගේ මෙම අහිතකර බැදීම වඩාත් තර කර ඔහුගේ ගෙල සිර කර දැමුවේය.

රැයෙහි අදුරැ ජනශුන්‍ය මාර්ගයක් අයිනේ නැවතූ කො‍ෆීගේ පියාගේ කාරයෙහි පිටුපසු ආසනයෙහි ඔහු හා නතාශා සම්භෝගයෙහි යෙදෙන්නට පුරැදුව සිටියෝය. ඇගේ කාමාග්නියෙන් දැවෙන පහත් කෑගෑම් සහ සුසුම් ලෑම්, ඈ තම ක්‍රියාශීලී අත් වලින් ඔහුගේ රහස් තැන් උත්තේජනය කරන විට ඔහුගේ යටි කයින් පැනනැගුනු විදුලි කෙටීම් බදු ආවේගය, ඇගේ තෙත් මුව ඔහුගේ මුව සිපුම් වලින් සම්භාහනය කරද්දී දැනුනු ප්‍රණීත රසය, ඔවුන් එකිනෙකාගේ සුසුම් ආශ්වාශ-ප්‍රාශ්වාශ කරමින්, එකිනෙකාගේ සුසුම් වලින් ජීවත් වන විට දැනුනු දැඩි ඒකාත්මිකතාව, කොෆී ඈ වෙත නොගැලවෙන ලෙස බැද තැබුවේය. එහෙත් ඒ සදහා ඔහු ගෙවිය යුතු මිල වූයේ, බොහෝ විට තම සිතට එකග නොවුනු ඇගේ අණ පිලිපැදීමට සිදුවීමයි. එමෙන්ම, ඇගේ ක්ෂණික කෝපය ව්‍යාග්‍ර ධේනුවකගේ වැනි වූ හෙයින්, කොෆී ඇයට බිය විය. ඔවුන්ගේ මෙම වෛරය මුසු ආලය ඔවුන්ගේ පාසැල් සමය නිමාවී වසර ගණනාවක් පැවතිනි. එහෙත් කොෆීගේ මනස එරී තිබූ මෙම මී පැණි මුසු විශ ගොහොරැවෙන් ඔහුව යම්තාක් ගොඩගන්නට සමත් සිදුවීමක් වසර ගණනාවකට පසුව වුවද, සිදුවිය.





Tuesday, September 2, 2014

මාරක දිනය (පස් වැනි කොටස)

යේසු ප්‍රතිමාවේ දුක්බර මුහුණ සහ ඔහුගේ සිරැර මතින් ගලායන රැධිරය දෙස ඔහු මෝහණයකින් මෙන් බලා සිටින්නට වූ අතර ඔහුගේ අත පයෙහි දැනී ගිය ශක්තිය වඩ වඩාත් ප්‍රභලව නැගී යන බවක් ඔහුට දැනිනි. ඔහුගේ දෑස්, රැධිරයෙහි රත් පැහැය උරා බීමට තැත් කරන බවක් කොෆීට හැගිනි. එම දෑස් එහි කෙවෙනි වලින් එලියට පැනීමට මෙන් විශාල වී තිබිනි. එමෙන්ම තම දිවට එම රැධිරයෙහි රසය දැනී යන බවක් ඔහුට හැගුනි. මේ අතර, ඔහුගේ අත පයට දැනුනු ශක්තිය විනාඩියෙන් විනාඩිය වඩ වඩාත් දැඩි වනුද, ඔහුගේ පපුව තුල ඇවිළුනු ගිනි සිළුව, එය මත පෙට්‍රෝල් ටිකෙන් ටික වක්කරන විට මෙන් වඩ වඩාත් මෙලවී යනුද ඔහුට දැනිනි. මේ අතර තවත් වෙනසක් කොෆීගේ හිස තුල ඇතිවන්නට විය. තම හිස තුල ඇතිවූ මේ අද්භූතජනක හැගීම ඔහුට සිහි කලේ, මිනිසෙකුගේ ඝණැති සිරැර ඔහුගේ සියුම් සිරැරෙන් වෙන් වී යාමේ පාරභෞතික සංසිද්ධියයි. දැන් කුමක් දැයි අමතකව ගිය කිසියම් පොතකින් හෝ සගරාවකින් මේ ගැන තමා කියවා ඇති බවක් ය ඔහුට සිතුනේ. මිනිසෙකු මිය යාමට ආසන්නයේදී හෝ දරැණු අනතුරකට ලක් වූ විටදී හෝ, එසේත් නැතිනම් සිතා මතාම භාවිතා කල හැකි යම් යම් ක්‍රියා මාර්ග වලින්, ඝණ සිරැරෙන් සියුම් සිරැරෙන් වෙන් කල හැකි බව ඔහු කොහෙන් හෝ කියවා තිබුනි. එයින් එක් ක්‍රමයක් වූයේ, මාංශපේශීන්ගෙන් යුතු ඝණ සිරැර ඇදෙහි නිදා සිටිද්දී, සියුම් සිරැර හෙවත් "ඇස්ට්‍රල්" ශරීරය ඇදෙන් නැගිටින සැටි තරයේ මනසේ මවා ගැනීමයි. ජපන් "යින්-යෑන්" සළකුනෙහි ශ්වේතවර්ණ අර්ධයත් කාලවර්ණ අර්ධයත් වෙන් කරන රිදීමුවා දාරය බදු, නින්දත් නොනින්දත් අතර පවතින සියුම් සිහිනමය අවකාශය තුළදී මෙය සිදු කිරීමේ වඩාත් පහසු බවටය මතය වූයේ. කෙසේ හෝ මෙය සාර්ථකව සිදු කිරීමට හැකියාව ඇත්තෙකුට, තමා ඇද මත නිදන ආකාරය, ඇදෙන් නැගිට තමාටම දැකගත හැකිය. තම මාංශමය ශරීරය එසේ නිදා සිටිද්දී, තම සියුම් ශරීරයෙන් ඔහුට හෝ ඇයට ගමන් කිරීමට හැකිය. මෙයට පාරභෞතිකවාදීන් භාවිතා කල ඉංග්‍රීසි වචනය වූයේ "ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්" යන්නයි. කොෆීටද හැගුනේ තම ශරීරයෙන් තමා පිටව යාමට ආසන්න බවකි. සැබැවින්ම තමාට දැන් මෙය සිදුවෙතැයි අපේක්ෂාවක් ඔහුට ඇති විය. 

සුළු වේලාවක් හෝ බොහෝ වේලාවක් ගෙවී ගියේය. කාලය පිළිබද සංවේදනය සම්පූර්ණයෙන්ම ඔහු වෙතින් මේවන විට ඉවත් වී ගොස් තිබුනෙන්, එය සුළු වේලාවක්ද බොහෝ වේලාවක් දැයි ඔහුට හැගීමක් තිබුනේ නැත. තමා නූලකින් එල්ලූ රෑකඩයක් වැනි යැයි ඔහුට හැගීමක් පහල විය. එහෙත් ඔහු අපේක්ෂා කල "ඇස්ට්‍රල් ප්‍රොජෙක්ශන්" සංසිද්ධිය ඇති වන බවක් පෙනුනේ නැත. එහෙත් වෙන කිසියම් දෙයක් සිදු වෙමින් තිබිනි. එනම්, සිරැර නොව, එකපිට ඇලවූ කොල දෙකක් දෙපසට ගලවන්නාක් මෙන්, ඔහුගේ සිත පළු දෙකකට බෙදී යාමට පටන් ගෙන ඇති බවකි ඔහුට දැනුනේ. මෙම හැගීම මුලින් සෙමෙන් ඇරඹී, පසුව වඩාත් වේගවත් වන්නට විය. කොෆී නැමති මිනිසාගේ සිත ඉදිරි පසටත්, "තම" සිත පසු පසටත් ගැලවී යන බවකි ඔහුට පෙනුනේ. මෙම "ගැලවීමේ" ක්‍රියාවලිය සිදුවෙමින්.. සිදුවෙමින්, අවසානයේද කොෆී නැමති කොලය එක් පසෙකටත්, "තමා" නැමති කොලය අනෙක් පසටත් සම්පූර්ණයෙන්ම ගැලවී ගියේය. මෙවිට, කොෆී නැමති කොලයේ ලියා ඇති දිගු ලිපිය, හෙවත් කොෆී නැමති මිනිසාගේ මුළු ජීවිත කථාන්තරයම, මෙම "අළුත්" සිතට සහ විඥ්‍යාණයට කියවීමට හැකියාව ඇති විය. එමෙන්ම, උදෑසන ඇදෙන් නැගිට, ඔහුගේ බිරිය දුන් කෝපී කෝප්පය පානය කල මිනිසාද, ඉන්පසු ඔහුගේ නිවසින් පිටතට විත් මාර්ගය දිගේ ඉහලට ගමන් කල මිනිසාද, ඒ යන අතර මගදී අවන්හලක් ඉදිරිපිට මිනිසෙකු සහ ඔහුගේ කුඩා දියණියද, තම මිතුරෙකු ද දුටුවා යැයි සිතූ මිනිසාද, තවදුරටත් එසේ ගමන් කරමින් අවසානයේ දේවස්ථානය අසල නැවතුනු මිනිසාද, එතැනදී නාදුනන ගැහැනියකගේ සිපුම් වලටද, අනුතරැව ඇගේ තර්ජනයකට ආසන්න වදන් වලට සවන් දුන් මිනිසාද, අවසානයේදී මෙම විශාල දේවස්ථානයේ පඩි පෙල නැග, එහි ආසන පේලි මැදට ඇවිද ආ මිනිසාද, තමා නොවන බව මෙම "අළුත්" විඥ්ඥාණයට අවබෝධ වීමට ගතවූයේ තත්පරයකින් දාහෙන් නැතිනම් දසදහසෙන් පංගුවක්... -- නැත, එය තත්පර වලින් හෝ තත්පරයෙන් පංගු වලින් මැනිය නොහැකි විය. මන්දයත්, කාලය යන සංකල්පය එ් මොහොතෙහි ලෝකය තුල නොතිබුනු හෙයිනි. එම අවබෝධයට වේලාවක් ගත නොවුනි. පැවතුනු එකම දෙය වූයේ, ‍තමා ජෝන් කොෆී නොවන බවට මෙම අළුත් සිතට පැමිනි අවබෝධය පමණය.

මතුවට...



Tuesday, August 19, 2014

මාරක දිනය (හතරවැනි කොටස)

එය තරමක් විශාල පල්ලියක් විය. වන්දනාකරැවන් සදහා දෙපස ඇති ඇති දිගු බංකු පේලි දෙස කොෆී බැලුවේය. එහි බංකු තිහක් හෝ හතලිහක් ඇතැයි ඔහු අනුමාන කලේය. මෙම බංකු පේලි වලට මැදින් වූයේ පටු මාර්ගයකි. සාමාන්‍ය පල්ලියක මෙන්, එහි ඈත කොනෙහි අල්තාරයක් වූ අතර, ඒ මතින් එලිබෙමින් තිබුනේ කුරැසයට ඇණ ගැසූ යේසූ ගේ විශාල ප්‍රතිමාවකි. එය කෙතරම් තාත්වික ලෙස නිම කර තිබුනේ දැයි කියතහොත්, එතැන ඇණ ගසා සිටින්නේ සැබෑ මිනිසෙකු දැයි නිවැරදිව දැන ගැනීමට මෙන් කොෆී කීපවරක් ඇසි පිය ගැසුවේය. කාලවර්ණ කෲර කටු ඔටුන්න යේසුගේ හිස මත පලන්දා තිබූ අතර, මේ දැන් පැන නැගුනාක් බදු ලේ ධාරාවන් ඔහුගේ මුහුන දිගේ පහළට ගලා ගොස් ඔහුගේ නග්න පපුවට වැටී තිබුනේය. ප්‍රතිමාව වටා ඇද තිබුනේ සාන්තුවරයන්ගේ සහ දේවදූතයින් ගේ රෑපයි. සාන්තුවරයින් සහ දේවදූතයින් සුදු ප්‍රාවරණ ඇද සිටි අතර, ඔවුන්ගේ දෑත්, දෙවියන්ගේ ගේ පුත්‍රයාට පැදකුණු කිරීම සදහා එකට එක් වී තිබුනේය. පිටෙහි සුදුවන් අත්තටු සහිත දේවදූතයින්, තම අත්තටු පහලට කොට ගෙන සිටියෝය. ඔවුන් සියල්ලන්ගේ ම මුහුණු සන්තාපය සහ ගෞරවය මුසු හැගීමකින් පිරී ගොසිනි. මින් පසු කොෆී ගේ මුහුණ හැරැනේ දේවස්ථානයේ ගෝලාකාර විශාල සීලිම වෙතය. එය තිබුනේ ඉතා ඉහලින් මෙන් පෙනුනු අතර, එහිද විවිධාකාරයේ රෑප ඇද තිබුනි. සීලිම් ගෝලයේ වටසනය අලංකාර සැරසිලි පටියකින් සරසා තිබූ අතර, ඒ මැද පුළුල් සිතුවමක් ඇද තිබුනි. එම විශාල සිතුවම, දේවත්වය සහ එහි ඇති විරාගී රසයද, මනුශ්‍යත්වය සහ ඇති රාගී රසයද එකට කැටි කොට නිරෑපණය කළ එකක් විය. චිත්‍රයෙහි මධ්‍යය වැඩි වශයෙන්ම පිරී තිබුනේ නග්න ගැහැනුන් හා පිරිමින්ගෙනි. ඔවුන් සමහරක් දෙනාගේ තොල්, තම අත් වලින් ඉහලට ඔසවා ගත් මධුවිත බෝතල් වල කුඩා කටවල් වැසූ අතර, සමහරක් දෙනාගේ මුවවල් තම පෙම්වතුන් හෝ පෙම්වතියන් ගේ මුවවල් චුම්බන වලින් වැසුවේය. සමහරක් දෙනා ප්‍රේමයේ යෙදුනේ එක් අතකින් මීවිත බෝතල් ඔසවාගෙනය. සමහක් දෙන තම රහස් පෙදෙස් සුදුවන් සිල්ක් රෙදි වලින් වසා සිටි අතර, සමහරැන් මුළුමනින්ම නිරැවත්ව සිටියෝය. තම පපු පෙදෙස් ආවරණය වන පරිදි සිල්ක් රෙදි තම පපුවලට අල්වාගෙන සිටි කාන්තාවන්ගේ වටකුරැ පියයුරැ සහ පියයුරැ තුඩු එම තුනී රෙදි අතරින් පැහැදිලි වූ අතර, තම නග්න යටි කය රෙදි වලින් වසා සිටි පිරිමින්ගේ රහස් අගංයන් වල පිම්බීමද රෙදි අතරින් පෙනී ගියේය. ඇතැම් ගැහැණු පිරිමින් තැන තැන වැටී, විවිධ ඉරියවු වලින් කාමුක සැපයෙහි යෙදී සිටියහ. පොලොව වෛවර්ණ මල් ගොමු සහ කොල වන් තණ ඇතිරිල්ලෙන් වැසිලාය. ගැහැණුන්ගේ රැවැති දෑත් තම පෙම්වතුන්ගේ ගෙලවල් වටා මල් වැල් මෙන් වෙලී ගොස් තිබූ අතර, ඔවුන්ගේ මුවවල් කාම සුඛයෙන් විවර වී, දෑස් මත් බවින් අඩවන්ව තිබුනි. ඇතැම් පිරිමින්ගේ දෑත් තම පෙම්වතියන්ගේ ‍පියයුරැ සහ කටී පෙදෙස් මතද ඇත්දල පැහැති වටකුරැ පාදයන් මතද ක්‍රීඩා කල අතර, අනෙකුන් ඔවුන්ව තරයේ වැළදගෙන සිටියේය.

මේ අතර, ඉහලින් වූ සුදු පැහැති වළාවන් මත ඔවුන් ව ශාන්ත දෑස් වලින් අධ්‍යයනය කරමින් සිටියේ, සුදුවන් අත්තටු වලින් යුතු දේවදූතයින් සහ දේවදූතියන්ය. තවද, චිත්‍රයෙහි ඈත වම් කොනෙහි රතු පැහැති රැවක් ඇද තිබෙනු කොෆීට පෙනිනි. මෙම රැවෙහි කෙස් නැති හිස මත රතුවන් අං තට්ටුවක් තිබූ අතර, ඔහුගේ මුව විසුළුව සහ දරැණු බව මිශ්‍ර අඩ සිනාවකින් විවර වෙලාය. ඔහුගේ දෑස් ගිනිගෙන දැවෙන්නාක් මෙන් පෙනිනි. ඔහුගේ කෙසග රතුවන් දේහයද වැසී තිබුනේ, කුණු ලේ පැහැති සළුවකින් පමණය. ඔහුගේ දකුණත, ත්‍රිශූල හිසකින් යුතු යගදාවක් වටා තරයේ එතිලාය. ඔහු සාතන් හෙවත් යක්ෂයා බව කොෆී නිවැරදිව හදුනාගත්තේය. චිත්‍රයේ තිබූ අන් සියළු දෙයට වඩා කොෆීගේ දෑස් ගියේ මෙම රෑපය සහ එහි රතුවන් ශරීරය වෙතටය. එම රතු පැහැය ඔහු තුල කිසියම් ආගන්තුක හැගීමක් -- අමතකව ගොස් නැවතත් මතක් වූවා සේ පෙනුනු හැගීමක් -- ඉපැද්දුවේය. ඔහුගේ දෑස්, යක්ෂයාගේ දැවෙන දෑස් කරා අගුළු වැටුනු අතර, ඔහුගේ හදවත තුලින්, කුතුහලජනක කුඩා ගින්නක් මතුවෙන බවක් ඔහුට හැගී ගියේය. ඔහු එලෙසම සිටගෙන සිටිද්දී, මෙම කුඩා ගින්න තම පපුව තුළ වඩාත් තරයේ නැගී යන බවකි ඔහුට දැනුනේ. ඔහුට තම හිසරදය අමතකව යමින් තිබූ අතර, සීනි අධික ශක්තිජනක බීමක් බීවාක් මෙන්, තම අත් පා වලට අළුත් ශක්තියක් ගලා එන බවක් ඔහුට දැනිනි. තමාට සිදුවන්නට කුමක්දැයි කොෆී දැන සිටියේ නැත. ඉන්පසු ඔහුගේ දෑස කෙලින්ම ගියේ යේයු ගේ රැව දෙසටයි -- යේසු ගේ හිස මතින් ඇරඹෙමින්, ඔහුගේ මුහුණ මතින් ගලා ගොස් ඔහු ගේ පපුව මත වැටුනු රැධිර ධාරාවන් වෙතටයි!

මතුවට...

Saturday, June 14, 2014

මාරක දිනය (තෙවන කොටස)

...."කොෆී, මට දැන් නෑ එහෙම කියනවා නෙවෙයි," ඇගේ කට කොනෙහි සිනාවක් තිබූ අතර, ඇගේ දෑස් ගිනි ගෙන දැවෙමින් ඔහුගේ දෑස් වෙත අගුළු වැටී තිබුනේය, "ඔයා ගෑනිව මැරැවා නේද?" ඈ ඔහු ගේ කම්මුල මත තම අත තබාගෙන ඇසුවාය...

"මොන ගෑනිද?" කොෆී ඇසුවේ තවමත් බිත්තිය අල්ලාගෙනය. ඇගේ සිනාවක් සහිතව උස්ව තිබූ කට කොන, කෝපයෙන් පහළට වැටුනේය.


"විහිළු කරන්ඩ එපා මනුස්සයො," ඈ දත්මිටි කමින් කීවාය, "කැතරිනාව මැරැවද නැද්ද?"


මැය පවසන්නේ තම බිරිය හෝ පෙම්වතිය -- තමා කසාද බැද සිටියේ දැයි ඔහු නොදත්තේය. වෙඩින් පොටෝ එකක් කාමරයේ තිබුනේ දැයි මතක් කරන්නට වූවද ඔහුට එය සිහියට ආවේ නැත -- ගැන යැයි ඔහුට අවබෝධ විය. 


"නෑ" ඔහු කීවේය.


ඇ තම අත් ඉනෙහි ගසා ගත්තාය. "මේක දැං සෙල්ලමකට ගත්තද? දැන් වෙලාව අටටත් ලගයි. එහෙනං මේ ෆ්ලයිට් එකේ යන්න හම්බුවෙන් නෑ. ඊළග ෆ්ලයිට් එක දොලහට. අයියෝ." ඈ තම නලලෙහි අත ගසාගෙන, තම ඔළුව වන වනා දෙපසට ඇඹරෙමින් කීවාය, "මම තමුසේ නම්, මෙලහට ගෑනු එකට දෙකක් මරලා ඉවරයි. ඇයි දැන් අදහස වෙනස් කරගත්ත වත්ද? තමුසේ අදහස් වෙනස් කරන්න දස්සයා නොවැ. නැත්තම් බයේද?"


"අදහස වෙනස් කරේ නෑ," කොෆී කීවේ යාන්ත්‍රිකවය.


"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ? මූනත් සුදු මැලි වෙලා, තමුසේ හරියට මළ මිනියක් වගෙයි."


ඈ තවමත් ඉනෙහි ගසාගත් අත් වලින් යුතුව පහළ පදික වේදිකාව දෙස බලමින් කල්පනාවේ යෙදෙන්නට වූවාය. කෙටි නිහඩතාවක් ඇති වී ගියේය.


"හරි, කොෆී", නැවතත් ඈ පටන් ගත්තාය. හැපින්නක් මෙන්, දිගු ඇගිලි සහිත අත ඔහුගේ නිකට කරා ගොස්, එය මිරිකුවේය.. ඊළගට ඈ ඔහුගේ ගෙල වටා දෑත් දමා, තම තොල් ඔහුගේ කනට තද කොට පහත් හඩින් මිමිනුවාය. ඇගේ උණුසුම් ප්‍රශ්වාසය ඔහුගේ කන තුළට යමින් එය කිතිකැවූ අතර, ඇගේ තොල් වල තෙත් බව ඔහුගේ කනෙහි තැවරිනි, "ඔයා දොලහට කලිං වැඩේ කරලා මෙතනට එන්න ඕන. ඔයා ආවත් නැතත් මම යනවා. හොදට මතක තියාගන්න කොෆී - ඔයා නැතුව වුනත් මම ඊළග ෆ්ලයිට් එකේ යනවා. මට තවත් ඔයා එක්ක සෙල්ලං කර කර මේ නගරේ ඉන්න බෑ." ඈ ඔහුගේ ජැකට් කරින් අල්ලා ගෙන, ඔහුගේ දෑස තුළට දැඩිව බලමින් ඔහුගෙන් ඈත් වූවාය. ඉන්පසුව ඔහු දෙස බලාගෙනම තම යතුරැ පැදිය වෙත පස්සෙන් පස්සට ගිය ඈ, එයට නැගී විදුලි වේගයෙන් පිටව ගියාය. 


කොෆී තම නළලෙහි දාඩිය පිස්සේය. මෙයින් පසු තමා කොතෙක් වේලා බිත්තයට පිට දී ගෙන, වළාකුළු පාවෙන අහස දෙස බලාගෙන සිටියේ දැයි කොෆී නොදත්තේය. ඔහුට තව දුරටත් ඉදිරියට යා නොහැකි විය. ඔහුගේ ඔළුව තුළ සුළි සුළගක් කරකැවුනේය. ඔහු තම කකියන්නට පටන් ගෙන තිබූ නළල අල්ලාගෙන උඩ බැලූවේය. ඔහුගේ ඔළුවට ඉහලින් එල්ලෙමින් තිබුනේ, කුරැසියෙහි ඇණ ගැසූ යේසුස් වහන්සේ ගේ කුඩා රැවක් සහිත කොල පැහැති ප්ලාස්ටික් බෝඩ් එකකි: "සේන්ට් මේරීස් චර්ච්". මෙහිදී ඔහුට පල්ලිය තුළට යෑමේ නොවැලැක්විය හැකි උවමනාවක් ඇති විය. ඔහු තම බිරිය -- කැතරිනා තම බිරිය බව මේ වන විට ඔහුගේ විශ්වාසය විය -- දුන් වේදනා නාශක පෙත්ත තම සාක්කුවෙන් ගෙන කටට දමා ගිල, පල්ලිය තුළට නැගී යන පඩි පෙලෙහි පඩි නගින්නට විය.


Friday, May 30, 2014

මාරක දිනය (දෙවන කොටස)

ඔහු ඈත කොනෙහි තිබූ දොරවල් දෙසට ඇවිද ගියේය. එහෙත් පිටතට යන දොර ඔහු නොදත්තේය. දොරවල් දෙසට ලගා වෙද්දී, පිටවන දොරටුව හදුනාගැනීම සදහා ඔහු උත්සහ ගති. දකුණු පස දොර සහිත බත්තියෙහි විශාල හතරැස් බොත්තමක් විය. මෙහෙයින්, නිවසින් පිටවෙන දොර එය විය යුතු බව ඔහු අනුමාන කලේය. වැරදුනහොත් වැරදුන දෙන් යැයි සිතූ ඔහු, එම බොත්තම තද කලේය. "ෂෂ්" හඩක් නගාගෙන දොර දෙපසට ඈත්වී විවර වූ අතර, පිටතින් දුටුවේ වානේ පඩි පෙලක් සහ එයින් එපිට වූ පදික වේදිකාවයි. පදික වේදිකාවට එපිටින් තිබූ මහා මාර්ගයේ පහත් රථ ශබ්ධය සහ උදෑසන මද සුළග නිවස තුළට පැමිනියේය. ඔහු පසුපස නොබලා විවර වූ දොර තුලින් පඩිපෙලට බැසි අතර, ඔහු පසුපසින් දොර නැවතත් "ෂෂ්" හඩ නගාගෙන වැසී ගියේය. ඔහු ආපසු හැරී බැලු අතර, මෙවර බිත්තිය මත ඔහු දුටුවේ, අංක සහිත බොත්තම් පැනලයක් සහ ඇගිලි සළකුණ තැබීමට සවිකර තිබූ උපකරණයකි. මෙම නිවසට ආපසු ඇතුළු වීම පිණිස ඔහුට නිවැරදි ආරක්ෂා අංකය සහ ඇගිලි සළකුණ උවමනා විය. එහෙත් ඔහු අංකය නොදත්තේය. ඔහු මදක් දොර දෙස බලා සිට, ආපසු හැරී පදික වේදිකාවට බැස්සේය. එසේ සිටගෙන ඔහු ඒ මත යන එන ගැහැනු පිරිමි දෙස බැලුවේය. ඒ සියළු දෙන ඔහුට අමුත්තන් විය. ඔහු පදික වේදිකාව දිගේ වම් පසට ගමන් කරන්නට පටන් ගත්තද, ටික වේලාවකින් ආපසු හැරී දකුණු අතට ගමන් කරන්නට පටන් ගත්තේය. තමාට එසේ කිරීමට සිතුනේ මන් දැයි ඔහුට හැගීමක් නැති විය. මාර්ගයෙහි විදුලි කාර්, බස් සහ වෙනත් වාහන ගමන් අතර, ඒවායින් පිටවූයේ පහත් ගුමු නාදයකි. ඔහු විවිධ බඩු භාණ්ඩ, රෙදි පිළි කඩ සහ නිවාස රැසක් පසුකරමින් ගමන් කලේය. තමා යන්නේ කවර තැනකට දැයි නොදත්තද, ඔහු ඉදිරියටම ගමන් කලේය. තමා කිසියම් විධානයකට අනුව ගමන් කරන්නාක් මෙන්ය ඔහුට දැනුනේ. දැන් ඔහු තමා ඉදිරියෙන් භෝජනාගාරයක් තිබෙන සැටි දුටුවේය. එය එලිමහන් කෑම හලක්ද වූයෙන්, ගොඩනැගිල්ල ඉදිරියේ රවුම් මේස සහ පුටුද, ඒවා මතින් වූ විශාල කුඩ හැඩයේ ආවරණද ඔහුට‍ දැකගත හැකි විය. එතැන සිටියේ කීප දෙනෙකු පමනි. මිනිසෙකු සහ ඔහුගේ කුඩා ගැහැණු දරැවා එහා කෙලවර වාඩි වී සිටි අතර, දැරිය චොකලට් කේක් කැබැල්ලක් කමින් සිටියාය. ඇගේ පියා ඈ තම කට වටා තවරා ගත් දුඹුරැවන් චොලකලට්, ටීෂූ රෙද්දකින් පිසිනු ඔහු දුටුවේය. මැද හරියේ තරැණ ජෝඩුවක් හිදගෙන සිටි අතර, මෙහා කොනෙහි සිටියේ පුවත් පතක් බලන අතර කෝපි කෝප්පයක් බොමින් සිටියේ උස මහත මිනිසෙකි. පරිසරය උදෑසන ශීතයෙන් යුතු වූ අතර, කෝෆී තම අත් ජැකටය මත බැදගත්තේ ය. ඔහු අවන්හල පසු කර යෑම සූදානම් වනවාත් සමගම, ඔහුට තමා පිටුපසින් හඩක් නැගී ගියේය. ඔහු හැරී බැලීය.

"ඒයි කොෆී!", ඒ අර උස මහත මිනිසා විය, "කොහෙද යන්නේ මේ?" මිනිසා සිනාසෙමින් අසා සිටියේය.

"මේ.. හුළං වදින්න ඇවිදිනවා" කොෆී කීයේය.

"මොකද නිකං.." මිනිසා නැවතත් කීයේය, "මොකද.. නෝනත් එක්ක ආයෙත් රණ්ඩුවක් ගියාද?" 

"න්නෑහ්."

"ඕවා ගනං ගන්ඩ එපා මචං. දන්නවනේ ගෑනුන්ගේ හැටි. උන්ට හේතුවක් ඕන නෑ නෙව කට ගහගන එන්ඩ."

"හ්ම්ම්" කොෆී කීවේය, "මං පොඩ්ඩක් මෙහාට ගිහිං එන්නම්" කොෆී අත වැනුවේය.

"හරි! ඒත් යකෝ මේ උදේ බොන්ඩ එපා, උඹ යන්නෙ ඒකට නං. රවුමක් දාලා වරෙන්, ගෙදර යනකොට ගෑනි ෂේප් වෙලා ඉදී" මිනිසා සිනාසෙමින් කී අතර, කොෆී ආපසු හැරී, වික්ෂිප්ත වූ මනසකින් යුතුව ඉදිරියට යන්නට පටන්ගත්තේය. මෙම මිනිසා ඔහුගේ ලග මිත්‍රයෙකු වන බවක් ඔහුට දැනිනි. 

ඔහු ගේ දෙපා ඔහුව ඉදිරියට ගෙන ගියේ යන්ත්‍රයක් මෙනි. ඔහුට සිතුනේ තමා කවර හෝ ස්ථානයකට යා යුතුව තිබෙන බවය. 

මෙම නගරය විශාල එකක් බව ඔහු දුටු අතර, තම වම් අතින් ඇති උසැති ගොඩනැගිලි සහ විශාල LCD තිර මත දිස් වන දර්ශණ දෙස බලමින් ඔහු ගමන් ගත්තේය. සිග්නල් කනු මත රතු කහ කොල එලි මාරැ වෙමින් දැල්වුනු අතර, පදිකයෝ කහ ඉරි දිගේ එහාට මෙහාට මාරැ වුනහ. නගරයට ඉහළින් විදුලි කෝච්චි, ඒවායේ චුම්භක පීලි මතින් ඇදී ගිය අතර, ඊටත් ඉහලින් විටින් විට ජෙට් යානා, සාමාන්‍ය ගුවන් යානා සහ හෙලිකොප්ටර්ද පියෑඹුයේය.

අවසානයේදී, ඔහු නගරයේ කිසියම් විවෘත ස්ථානයකට පැමිනියේය. එතැන වම් අතින් පෙනුනේ සුවිශාල ගංගාවකි. එය ගැලුවේ කවාකාර යෝධ කොන්ක්‍රීට් බිත්ති දෙකක් මැදිනි. ඔහුට දකුණතින් වූයේ පල්ලියකි. ඔහුගේ මොලයේ කිසියම් ගැඹුරැ තැනක සිට, ඔහු මෙතැන නැවතිය යුතු බවට වන හැගීමක් පැන නැගුනේය. ඔහු හිටි අඩියේ නැවතුනු අතර, ඔහු එකතැන සිටගෙන අවට බලන්නට වූයේය. තමා කුමක් කරන්නේ දැයි කිසිම අදහසකින් තොරව, ඔහු පල්ලියෙහි බිත්තියට පිට දී හේත්තු විය. උදෑසන හිරැ කිරණ, ගංගාව මතින් ගලා විත් ඔහුගේ සිරැර නහවමින් ඇද වැටුනේය. ඔහු එසේම බිත්තියට බර වී සිටගෙන, නැවතත් හිස් වූ මොලයකින් යුතුව අහසෙහි පාවෙන තැඹිලි සහ සුදු පැහැති වළාකුළු දෙස බලා සිටින්නට වූවේය. එහෙත් තමා ගේ ගමන මෙතැන නැවතිය යුතු බවට වන නොවැලැක්විය හැකි හැගීමක් ඔහු තුළ විය.

කෙතරම් කාලයක් ගෙවී ගියේ දැයි ඔහුට හැගීමක් නොවීය. හිටි අඩියේම මෝටර් සයිකලයක නැගී වේගයෙන් පැමිනි කිසියම් කාන්තාවක්, ඔහු ඉදිරිපස පදික වේදිකාව අසලින් තම සයිකලය නතර කලාය. වේගයෙන් පැමින ඈ ගැසූ බ්‍රේක් පහර නිසා "ක්‍රාස්" ශබ්ධයක් රෝද වලින් නැගිනි. ඔහු මදක් බියට පත් කරමින්, තම විශාල කොටගත් දෑසින් ඈ තම රථයෙන් බැස ඔහු දෙස පැමිනෙනු ඔහු බලා සිටියේය. ලෙදර් බ්ලවුසයකින් සහ කලිසමකින් සැරසුනු ඇගේ සිරැර දෙපසට පද්දවමින්, ඉක්මනින් ඈ ඔහු වෙත අඩි තැබූ අතර ඇගේ හිස පසු පසින් උඩට වෙන්නට බැද තිබූ පෝනී ටේලය, ඇගේ ගමන් රිද්මයට විරැද්ධ දිශාවට පැද්දිනි. ඈ ඔහු අසලටම ආ අතර, ඉදිරියට පැන ඔහුගේ ගෙල වටා තම දෑත් දමා, තම රතු පැහැ තැවරෑ තොල් ඔහු ගේ තොල් මත දැඩි ලෙස තද කලාය. ඔහු කුමක් සිදුවේ දැයි නොදත්තේ, තම දෑත් වලින් බිත්තිය අල්ලා ගත්තේය. ඈ තම දීර්ඝ උණුසුම් සිපුම නතර කර, ඔහුගේ තොල් වල ගෑවේන නොගෑවෙන ලෙස තම තොල් තබාගෙන මෙසේ කීවාය:

"කොෆී, මට දැන් නෑ එහෙම කියනවා නෙවෙයි," ඇගේ කට කොනෙහි සිනාවක් තිබූ අතර, ඇගේ දෑස් ගිනි ගෙන දැවෙමින් ඔහුගේ දෑස් වෙත අගුළු වැටී තිබුනේය, "ඔයා ගෑනිව මැරැවා නේද?" ඈ ඔහු ගේ කම්මුල මත තම අත තබාගෙන ඇසුවාය...
______________________________________

මතුවට.....



Thursday, May 29, 2014

මාරක දිනය (පළමු කොටස)

Writer: KasunL (පරිවර්ථනයක් නොවේ)

ඔහුගේ අවදි වූ ඇස් වලට මුලින්ම ඇස ගැසුනේ සිවිලිමකි. එය සුදු පැහැති විය. ඔහු එසේම සැතපීගෙන අවට බැලුවේය. දකුණු පසින් වූයේ දුඹුරැ පැහැ මේසයකි. එය පිරිසිදුව සකසා තිබූ අතර, සුදුවන් අලංකාර දැල් මේස රෙද්ද මත එලාම් ඔරලෝසුවක්ද, මල් බදුනක්ද, පළතුරැ බදුනක්ද, හිස් වයින් බෝතලයක් සහ උසැති වීදුරැ දෙකක් ද දැකගත හැකි විය. එම වීදුරැ වල අඩියෙහි වූ රතුපැහැ වයින් මන්ඩි ඔහුට දැකගත හැකි විය. තමා සිටින්නේ මදක් විශාල නිදන කාමරයක සුවපහසු ඇදක් මත බව ඔහු දුටුවේය. එහි ඇතිරිලි සහ කොට්ට ලා නිල් පැහැය ගති. ඉදිරිපස ඈත කොනෙහි අළු පැහැති දොරවල් දෙකක් දෙපසින් විය. එම දොර දෙක මැදින් වූ බිත්තියෙහි විශාල රෑපවාහිනී තිරයක්ද, ඒ ඉදිරිපස සෝපාවක් සහ කුඩා වීදුරැ මේසයක් ද විය.

මෙවිට ඔහුට තම වම් පසින් ඇසුනේ, කිසිවකු සුස්මන ශබ්ධයකි. ඉන්පසු ඇත් දල පැහැති අලංකාර ගැහැණු අතක් ඔහුගේ ගෙල වටා ගියේය. ඔහු වම් පස හැරී බැලූ අතර, මෙම තරැණ ගැහැණිය නිදි බර ඇස් වලින් තමා දෙස බලා සිනාසෙනු ඔහු දුටුවේය. ඇගේ අවුල් වූ ඝනැති කෙස් කළඹ ඇගේ සිසරැ පුරා විසිරී තිබූ අතර, ඈ ඔහු වෙත තුරැලු වූවාය.

"ගුඩ් මෝනින්, කොෆී." ඈ කීවේ ඔහුගේ කට කොන මත උණුසුම් සිපුමක් තබමිනි.

"කොෆී" ඔහු සිතුවේය, "එ් කවුද. ඒ මගෙ නමද? මේ නාදුනන ගැහැණිය කවරෙක්ද? මම කොහෙද ඉන්නේ? මම කවුද?" මෙවැනි ප්‍රශ්ණ වැලක් ඔහුගේ මෙතෙක් හිස් ව තිබූ හිසට පැමිනියේ එවිටය. ඔහු කිසිත් කීවේ නැත. ඇගේ අත සෙමින් ඉවත් කල ඔහු, පොරෝනය අවත් කොට, නැගිට ඇද මත හිදගත්තේය. ඈ උඩු බැලි අතට හැරැනාය. 

"කොෆී", ඈ අඩ නිදිමතින් කීවාය, "ඉන්න මම අපි දෙන්නට තේ හදාගෙන එන්නම්." ඈ ඔහුගේ නග්න පිට එක් වරක් අතගෑවාය. ඉන්පසු ඈ නැගිට, අසළ වූ දොරකින් සෙමින් ඇතුලට ගියාය. ඔහු නැගී සිට නැවතත් අවට බැලුවේය. පැහැදිලි ලෙසම මෙය අඹු සැමියන් වසන නිවසක් විය. එසේනම් ඈ ඔහුගේ බිරියද? ඔහුට කිසිවක් මතක නැති විය. ඔහු උත්සාහ කලත්, තම කවරෙකුද කියා හෝ මෙම නිවස කුමක්ද කියා ඔහුට සිහි කරගත නොහැකි විය. විනාඩි පහලොවකින් ඈ, රිදී බන්දේසියක් මත රොස්ට් කල පාන් සමග තේ ගෙනාවාය. ඉන්පසු ඈ එය ඇද මත තබා, ඔහුට ඇද මත ඉදගැනීමට සංඥා කලෙන් ඔහු එසේ කලේය. ඉන්පසු ඈ කුඩා වීදුරැ මේසයක් මත තබා, ඔහුගේ ගෑවෙමින් ඉදගත්තාය. 

"කොෆී, මොකද නිකං අමුතු වෙලා?" ඈ පාන් පෙත්තක් ඔහු අතට දෙමින් පැවසුවාය.

"ආ.." කොෆී කීවේය. ඒ ඔහුට තමාගේම කටහඩ ඇසුනු පළමු වතාව විය. එය මදක් බරැති, එහෙත් මිහිරි හඩක් බව ඔහුට සිතිනි, "නෑ.. නිකං." ඔහුට කීමට දෙයක් නැති විය. ඔහු ඈ දුන් පාන් පෙත්ත කන්නට පටන් ගත්තේ කථා කිරීම නැවතීම පිනිසය. 

"ඔළුව රිදෙනවද?" ඈ ඔහුගේ නළලට අත තබා ගිස අත ගෑවේය.

"නෑ.." ඔහු කීවේ ඈ වෙත යන්තමින් සිනාසෙමිනි.

"කාලා තේ බොන්නකෝ.. එතකොට හරියාවී", කී ඈ, තමාද පාන් පෙත්තක් අතට ගත්තාය.

ඔහු තම හිස බිමට බර කරගෙන පාන් කෑ අතර, ඈ ඔහුගේ කර මත හිස තබාගෙන තම පාන් පෙත්ත විකුවාය. ඔහු තේ කෝප්පයක් ගෙන ඈ අතට දුන්නේය.

"තෑන්ක් ඩාංලි" ඈ කීවාය.

ඉන්පසු ඔහුද තම තේ කෝප්පය ඉක්මනින් පානය කරන්නට විය. එය බී හමාර කළ ඔහු, ඇගේ හිස තම කරින් නොවැටෙන ලෙස අල්ලාගෙන කෙලින් වී සිටගත්තේය.

"ඩාලිං, මට පොඩ්ඩක් එලියට යන්න ඕන, හුලං වැදිලා එන්න. ඔළුව ටිකක් බරයි තමා. ටිකක් ඇවිද්දාම හරියාවි" ඔහු රගපෑමක යෙදිමින් ඈට කීවේය. 

"මාත් එන්නම්, ඔයාට උණවත් හැදීගෙන එනවද දන් නෑ."

"නෑ නෑ බබා, ඔළුව බරයි, ටිකක් හුළං වැදිලා එන්නයි ඕන. අනේ මට ඇදුමක් ගෙනත් දෙන්න, හොද ලමයා වගේ" 

"හරි, එහෙනම් වැඩිය ඈත යන්න එපා හොදද" යැයි කී ඈ, ඇදුම් අල්මාරිය අසළට ගොස්, එය ඇර, ඔහුට අදුරැ පැහැති කබායක් සහ කලිසමක් ගෙන දී, වේදනා නාශක පෙත්තක්ද ඔහු අත තැබුවාය.

"තෑන්ක්ස්. මම එලියෙදී බොන්නම්" ඔහු කීවේ, තම තුනී රාත්‍රී ඇදුමට උඩින් කලිසම සහ කබාය අදිමිනි. ඉන්පසු ඔහු පෙත්ත සාක්කුවට දමා ගත්තේය. ඈ මදක් විපරීතව ඔහු දෙස බලා සිටියාය.

"ලමයෝ ඔයා අද අමුතුයි. පරිස්සමෙන් ඇවිදල එන්න එහෙනම්." ඈ ඔහු ගේ කම්මුල සිපගත්තාය. ඔහු ද ආපසු සිපුමක් දී, "බයවෙන්න එපා, මම ඉක්මනට එන්නම්" යැයි කීවේය. දැනට ඈට සැක නොසිතීමට වග බලා ගත යුතු බව ඔහුගේ මොලය ඔහුට පැවසුවේය...