...."කොෆී, මට දැන් නෑ එහෙම කියනවා නෙවෙයි," ඇගේ කට කොනෙහි සිනාවක් තිබූ අතර, ඇගේ දෑස් ගිනි ගෙන දැවෙමින් ඔහුගේ දෑස් වෙත අගුළු වැටී තිබුනේය, "ඔයා ගෑනිව මැරැවා නේද?" ඈ ඔහු ගේ කම්මුල මත තම අත තබාගෙන ඇසුවාය...
"මොන ගෑනිද?" කොෆී ඇසුවේ තවමත් බිත්තිය අල්ලාගෙනය. ඇගේ සිනාවක් සහිතව උස්ව තිබූ කට කොන, කෝපයෙන් පහළට වැටුනේය.
"විහිළු කරන්ඩ එපා මනුස්සයො," ඈ දත්මිටි කමින් කීවාය, "කැතරිනාව මැරැවද නැද්ද?"
මැය පවසන්නේ තම බිරිය හෝ පෙම්වතිය -- තමා කසාද බැද සිටියේ දැයි ඔහු නොදත්තේය. වෙඩින් පොටෝ එකක් කාමරයේ තිබුනේ දැයි මතක් කරන්නට වූවද ඔහුට එය සිහියට ආවේ නැත -- ගැන යැයි ඔහුට අවබෝධ විය.
"නෑ" ඔහු කීවේය.
ඇ තම අත් ඉනෙහි ගසා ගත්තාය. "මේක දැං සෙල්ලමකට ගත්තද? දැන් වෙලාව අටටත් ලගයි. එහෙනං මේ ෆ්ලයිට් එකේ යන්න හම්බුවෙන් නෑ. ඊළග ෆ්ලයිට් එක දොලහට. අයියෝ." ඈ තම නලලෙහි අත ගසාගෙන, තම ඔළුව වන වනා දෙපසට ඇඹරෙමින් කීවාය, "මම තමුසේ නම්, මෙලහට ගෑනු එකට දෙකක් මරලා ඉවරයි. ඇයි දැන් අදහස වෙනස් කරගත්ත වත්ද? තමුසේ අදහස් වෙනස් කරන්න දස්සයා නොවැ. නැත්තම් බයේද?"
"අදහස වෙනස් කරේ නෑ," කොෆී කීවේ යාන්ත්‍රිකවය.
"මොකද මනුස්සයෝ වෙලා තියෙන්නෙ? මූනත් සුදු මැලි වෙලා, තමුසේ හරියට මළ මිනියක් වගෙයි."
ඈ තවමත් ඉනෙහි ගසාගත් අත් වලින් යුතුව පහළ පදික වේදිකාව දෙස බලමින් කල්පනාවේ යෙදෙන්නට වූවාය. කෙටි නිහඩතාවක් ඇති වී ගියේය.
"හරි, කොෆී", නැවතත් ඈ පටන් ගත්තාය. හැපින්නක් මෙන්, දිගු ඇගිලි සහිත අත ඔහුගේ නිකට කරා ගොස්, එය මිරිකුවේය.. ඊළගට ඈ ඔහුගේ ගෙල වටා දෑත් දමා, තම තොල් ඔහුගේ කනට තද කොට පහත් හඩින් මිමිනුවාය. ඇගේ උණුසුම් ප්‍රශ්වාසය ඔහුගේ කන තුළට යමින් එය කිතිකැවූ අතර, ඇගේ තොල් වල තෙත් බව ඔහුගේ කනෙහි තැවරිනි, "ඔයා දොලහට කලිං වැඩේ කරලා මෙතනට එන්න ඕන. ඔයා ආවත් නැතත් මම යනවා. හොදට මතක තියාගන්න කොෆී - ඔයා නැතුව වුනත් මම ඊළග ෆ්ලයිට් එකේ යනවා. මට තවත් ඔයා එක්ක සෙල්ලං කර කර මේ නගරේ ඉන්න බෑ." ඈ ඔහුගේ ජැකට් කරින් අල්ලා ගෙන, ඔහුගේ දෑස තුළට දැඩිව බලමින් ඔහුගෙන් ඈත් වූවාය. ඉන්පසුව ඔහු දෙස බලාගෙනම තම යතුරැ පැදිය වෙත පස්සෙන් පස්සට ගිය ඈ, එයට නැගී විදුලි වේගයෙන් පිටව ගියාය.
කොෆී තම නළලෙහි දාඩිය පිස්සේය. මෙයින් පසු තමා කොතෙක් වේලා බිත්තයට පිට දී ගෙන, වළාකුළු පාවෙන අහස දෙස බලාගෙන සිටියේ දැයි කොෆී නොදත්තේය. ඔහුට තව දුරටත් ඉදිරියට යා නොහැකි විය. ඔහුගේ ඔළුව තුළ සුළි සුළගක් කරකැවුනේය. ඔහු තම කකියන්නට පටන් ගෙන තිබූ නළල අල්ලාගෙන උඩ බැලූවේය. ඔහුගේ ඔළුවට ඉහලින් එල්ලෙමින් තිබුනේ, කුරැසියෙහි ඇණ ගැසූ යේසුස් වහන්සේ ගේ කුඩා රැවක් සහිත කොල පැහැති ප්ලාස්ටික් බෝඩ් එකකි: "සේන්ට් මේරීස් චර්ච්". මෙහිදී ඔහුට පල්ලිය තුළට යෑමේ නොවැලැක්විය හැකි උවමනාවක් ඇති විය. ඔහු තම බිරිය -- කැතරිනා තම බිරිය බව මේ වන විට ඔහුගේ විශ්වාසය විය -- දුන් වේදනා නාශක පෙත්ත තම සාක්කුවෙන් ගෙන කටට දමා ගිල, පල්ලිය තුළට නැගී යන පඩි පෙලෙහි පඩි නගින්නට විය.